Latest News

T-20 world cup සහ අපි


"ඩින්කටකට ටකන් ටකන්....මයි නේම් ඉස් ශීලා...ශීලා කි ජවානී...අයිම් ටූ සෙක්සී ෆෝ යූ මේ තෙරේ ආයෙ....." .....ක්ලික්.....

මා ද මුලින් සිතුවේ මා කත්‍රිනා කයිෆ් සමඟ නර්තනයේ නිරතව සිටියා කියා ය. (හරි දැන් ඉතින් "මා" වලින් පටන් ගත්තම "කියා ය" වලින් ඉවර කරන්නෙ කොහොමද කියා දහ අතේ කල්පනා කෙරුමට උවමනා නැත. ඇවැසි නම් "මා" ස්ත්‍රී ලිංග කියා සිතා ගනු මනා ය. මට නම් කම් නැත්තේම ය.) නැවතත්.... කතාව මධ්‍යයේ ඇඩ් දමා ට්‍රැක් මාරු කිරීම බල්ලන්ට පමණයි.... කත්‍රිනා සමඟ නර්තනය... අහෝ එය එසේම වූවා නම්.... කරුමෙක මහත. එය හුදෙක් මා කිටි කිටියේ ගිය සතියේ ගත් Nokia Lumia වට ටිකි ටිකියේ දමා ගත් Ringing ටෝනයමැ යි.

"හලෝ......" දුරකථනය හරහා ගන්ධයන් ගලා නොයන තරම් #G එක දියුණු වී නොමැති වීම ගැන අදාල පාර්ශවයන්ට ස්තූති පූර්වක වෙමින් මම එම ඇමතුමට අලුයම කෙළ පිඩින් වියැළී ගිය තොල් වලින් ආමන්ත්‍රණය කළෙ මි. අනෙක් පස වූයේ වැලි කෙළියේ පටන් මාගේ මිතුරෙකි. ඔහු දැන් MoraSpirit හි ලොකු නිලයක් දරන්නේ හුදෙක් එය දේශපාලන පත්වීමක් නොව, ඔහුගේම දක්ෂතාවය මත හිමි කර ගත්තක් ම ය. ඔහු ගේ "ස්වයං උඩ යෑම්" වළකනු වස් නම් ගම් හෙළි නොකිරීමට වග බලා ගනිමි.

"මචන් අපි Blog එකක් කරන්න හදන්නෙ.... උඹට පුළුවන්ද ඒකට සෙට් වෙලා ගොඩ දාල දෙන්න? උඹ තමයි මේකට කියාපු dial එක"

මේකා මේ මොකාටද මේ එන්න හදන්නෙ?

"මරුනේ ඕයි.... ඒක සිරා... මම එනෝ...."

ඔහු තැබූ මුරුංගා අත්තේ හිඳගෙනම මම පිළිතුරු දුන්නෙමි.

ඔහු serious යැයි මා meter කර ගත්තේ යට කී සංවාදයෙන් දින කිහිපයක් යන්ට මත්තෙන් ඔහු මාගෙන් Blog එකට පූර්විකාවක් ඉල්ලා සිටිය විටදී ය. "කියන්නා කෙසේ කීවත් අසන්නා සිහි බුද්ධියෙන් ඇසිය යුතු ය" කියා දැන් පඬි ටෝක් නොදෙනු මනා ය. නිදි දෙව්දුව පොප් කෝන් කවමින් පිචෑර් වන් හීන පෙන්වන හිමිදිරි උදෑසන මාගේ බුද්ධියෙන් අග තැන්පත් සිහිය ගැන දන්නේ මා ය. මා තනි වචනයේ මිනිහෙකි. එක්කො "හා", එක්කො "බෑ" ය. "හා" කිව් නිසා දැන් "හා" විය යුතු ය. අනෙකුත් වැඩ පැත්තකින් තබා පූර්විකාවකට උචිත මාතෘකාවක් සොයා ගත යුතු ය. Paul Walker ගේ නික්ම යෑමෙන් පසු Fast & Furious 7 ගොඩ දා ගත නොහී වැලේ වැල් නැතුව සිටින James Wan මෙන් මා ද පූර්විකාවක් සොය සොය දහ අතේ කල්පනා කළෙමි. වාසනාවකට හෝ අවාසනාවකට මා එසේ කල්පනා කරමින් සිටියේ 2014 අප්‍රේල් මස 05 වන දින රාත්‍රියේ ය. පසුදින රාත්‍රියේ රටක් සතුටු කඳුලෙහි ගිල් වූ ඒ සුමිහිරි මොහොත, ඒ අසිරිමත් මොහොත, බිලියන 1.23කගේ පැතුම් අළු කළ ඒ ප්‍රභීෂ්චිත ප්‍රභාස්වර මොහොත (ප.ලි. ඕයි ඒ කිව්වෙ ඉන්දියාවෙ ජනගහනෙ. මගේ මිත්තණිය නම් "අනේ අපේ දඹදිව කොල්ලො ටික" කියල අත් දෙක නළලෙ ගහන් දුක් උනාට මා එසේ නැත. ඉන්දියාවත් එක්ක මා එදා පටන් ඔරොප්පු ය. උන්ගෙ ඔළුව ලොකු ය. අපෙ කොල්ලො ටිකට ඇති ආදරය දෙගුණ තෙගුණ වන්නේ ඒ ඔළුව බස්සපු එක සිහි වෙද්දී ය.), ලාංකීය මිලියන 20.33ක සිහින සැබෑ කළ ඒ නලියන මොහොත, ඒ අපූර්ව මොහොත පසු දින උදා වන බව දත්තේ නම් මා මෙතරම් කට්ට කා ගෙන නිදි මර මර අලුත් පූර්විකා සොයමින් දුක් විඳින්නේ නැත.

කෙසේ වුවද ලාංකේය විශ්වවිද්‍යාල ක්‍රිඩාවේ හඬ, MoraSpirit හි බ්ලොග්කරණයේ ආගමනයට පූර්විකාවක් එසේ හමු වද්දී එකී පුර්විකාවද ආවට ගියාවට ඇරඹිය නොහී ඒ පූර්විකාවට මෙසේ තවත් පූර්විකාවක් ගනු රිසියෙමි.

අවසරයි මා ප්‍රිය ක්‍රීඩා ලෝලී මිතුරු මිතුරියනි. දේශීය සරසවි ක්‍රීඩා ඉතිහාසයේ එදා මෙදා තුර දහසක් මුසපත් කළ, දහසක් පුදුම කළ ඒ අනභිභවනීය පිම්ම, MoraSpirit ආගමනය, සමඟින් දේශීය සරසවි ක්‍රීඩා ඉතිහාසයේ නවමු මංපෙත් විවර වූ බැව්, නවමු පරිච්ඡේද ලියැවුණු බැව්, ක්‍රීඩා ලෝලීන් හා ක්‍රීඩක ක්‍රීඩිකාවන් නවමු ප්‍රබෝධයකින් ඉපිලී ගිය බැව්, අත්‍යන්තයෙන් ම නොරහසකි. රටක් මුසපත් කළ එකී පිමි ගැන පසුවට තබා, ලොවක් මුසපත් කර විස්සයි විස්ස ලෝක ශූරයන් වූ මෙකී පිම්මෙන් ම "MoraSpirit හි බ්ලොග් අවකාශාගමනය" ට පූර්විකාවක් 2014 අප්‍රේල් මස 10 වන අද දින මෙලෙස සනිටුහන් කරමි!!!!!

"නිති නිරිඳුගෙ රැකවලෙහි     නියුත්තෝ
රුති ලෙස රුපුනොද බිඳ ජය    ගත්තෝ
පැතිරෙන වෙණ නද බැඳුණු සිතැත්තෝ
අතිනවි ගිලිහෙන බව නොම     දත්තෝ

මන මත් කරවන දන මුළු        දෙරණා
රසවත් වෙන වෙණ නද නඳ    කරණා
සවනොත් සඳ පුරඟන ලොබ    දිවුණා
නොදනිත් දරුවන් ඇකයෙන් වැටුණා"




2014 අප්‍රේල් මස 06 දින රාත්‍රිය ගුත්තිල කාව්‍යය සිහි කැඳවනු සමර්ථ ය. "නොදනිත් දරුවන් ඇකයෙන් වැටුණා" හෝ වඩාත් වර්තමානයට සමීපානුයෝජනය වෙමින් "නොදනිත් සූප්පුව ගුදයට වැදුනා" හෝ අත දරුවන් ගැනවත් සෙව්මට දහසක් මව්වරුන්ට අමතක කළ ඒ රාත්‍රිය.... නිරිඳුන්ගේ රැකවලෙහි නියුතු භටයින්ගේ අත අවි ගිලිහූ ඒ රාත්‍රිය.... (හරි.. දැන් නිරිඳු තරඟයට නොපැමිණි එක ගැන සිහි කළ යුතු නොමනා ය. එය වෙනම ම කතාවකි. ඒ සඳහා නිරිඳුන්ට අවංකව ම භක්තිපූර්වක වෙමින් නැවතත් "ඒ රාත්‍රිය" දෙසට හැරෙමු.... දැන් කට්ටියම "ඒ රාත්‍රිය... ඒ රාත්‍රිය..." ලෙස මා අමාරුවෙන් එළිසමය ගළපා දුන්, පස්සෙ ගොන් ප්‍රශ්න අහල මගදි හලා ගත්, ඒ impression එක නැවත අහුලා ගනු මනා....) මින් රළ වුත් බෙංගාල බොක්ක හරියේ වෙරළට රැස් කර වූ ඒ රාත්‍රිය.... සැබවින් ම වෑත්තෑවේ හිමියනි, මම් කෙසේ පවසම් එසේ (වර සුර ලඳුන් ගැන නම් මම නොදනිමි.) අප සිහ පුතුන් දුන් රඟ සොබා?

Cricinfo හි එක් තැනක මෙසේ ලියැවී තිබුණි.
"I was 22 when Gilchrist broke my heart.. I was 24 when Afridi broke my heart.. I was 26 when Gambhir broke my heart.. I was 27 when Samuels broke my heart in our own soil... But still I kept my hopes.... Finally... it was delivered"

ඒ වදන් පෙළ පිට වූයේ බොක්ක රත් කරන් හක්ක කූල් කරන් අවුරුදු 18ක් පුරාවට, වරෙක board එකට බැණ බැණ, වරෙක ඇමතිට බැණ බැණ, වරෙක වැස්සට බැණ බැණ, වරෙක කෝලිට බැණ බැණ, බනින්න එකෙක් හිටියේම නැත්තන් අල්ලපු ගෙදර උඩු බුරලන කුක්කාට හෝ බැණ බැණ, බලාපොරොත්තුවේ පහන් දල්වන් ටෙලිවිෂනය දෙස ඇසි පිය නොහෙලා බලා සිටි ඔබ මා වැනිම තවත් සහෘදයෙක් ගෙනි.

Cricinfo කොමෙන්ට් තීරයේ ඉන්දියන්කාරයන් සමඟ හරි හරියට වලි දා ගත්ත ද මෙච්චර කාලෙකට ලොකුවට පෙන්වීමට කියා දෙයක් විදිහට අපට තිබ්බේ අර්ජුන 1996 දී අපිට දිනා දුන් ලෝක කුසලානය විතරම ය. මෙතුවක් කල් ජාමෙ බේරගෙන cricinfo හි වැසුවේ හුදෙක් අපගේ කටේ බලෙනි. එය දන්නෝ දනිති.... දැන් හරි ය. කප් එක ගහපු දවසෙ මා එහි ගියේ ලෝකෙම අල්ලපු මහා ඇලෙක්සැන්ඩර් ගෙනුයි නැපෝලියන් ගෙනුයි දෙමුහුන් වූ එකෙක් ලෙස ය. ආඩම්බරයි පුතේ.... සත්තයි. හෙන ම හැඟීම්බර යි. කොලු කමට නිගාවක් හෙයින් එදින රාත්‍රියේ මා බාත් රූම් එකට ගොසින් දොර ද වසා ගෙන ය පැය තුනක් තිස්සේ හයියෙන් කෑ ගහ ගහ ඇඬුවෙ... ඇත්තමයි.... එය "සංතෘප්ත" ජයග්‍රහණය කි.

"සංතෘප්ත" ජයග්‍රහණයක්? ඇයි මා එය එසේ දකින්නේ?

හේතු කාරණා බොහෝ ම යි. එක එක ගමු. නිසඟයෙන් ම පළමු හේතු පාදක කරුණ නම් එම ජයග්‍රහණය ඉන්දියාවට එරෙහි එකක් වීම ය. කොහොමත් අපිට ඉන්දියාවත් එක්ක පොඩි පහේ මලක් නැත්තේම නැත. ඉන්දියානුවන් ගේ පුහු, ජාන වලම පවතින උඩඟුකම එයට යම්තාක් දුරකට බලපාන්නට ඇත. හරි.. කම් නැත. එහෙමයි කියල අපිට 2011 world cup  එකේදි අරම ගහන්න ඕන නෑනෙ...හ.... අපි දිනුම් ය. එයත් ලෝකෙ successful ම නායකය ලෙස සලකන දෝනි ගෙ නායකත්වයෙන් යුතු ඉන්දීය කණ්ඩායමට එරෙහිව ය. දෝනි ගෙ වැඩ නොකළ හෙලිකොප්ටරය ද තිබියදී ය ඔවුන් ව 130කට සීමා කලේ.... හැමදාම අපිට කුණු වෙන්න නෙළන කෝලි ද විකට්ටුවේ සිටියදී ය ඔවුන් ව 130කට සීමා කළේ.... බුලත් හපයා, අශ්වින් ට ඇ‍‍ඬෙන්න නෙලූ හැටි, සර් ද ප්‍රින්සිපල් ද කව්ද කියා ගත්තු ජඩේජට එලව එලව ගහපු හැටි, බුවනේෂ්වර් කුමාර් අඬවපු හැටි, වචනයේ පරිසමාප්ත අර්ථයෙන් ම පට්ට ය. එයයි එය "සංතෘප්ත" ජයග්‍රහණයක් කරවන්නේ....



මහත්වරුන්ගේ ක්‍රීඩාවේ වචනයෙන් මෙන්ම ක්‍රියාවෙන්ද මහත්වරුන් වු සංග-මහේල ගේ නික්ම යාමට ඉක්බිති වූ farewell ජයග්‍රහණයක් වීම.... Darren Sammy ඔබට ප්‍රණාම. මෙය සැබවින්ම මහ බබා නලළෙ කොටා එවපු ජයග්‍රහණයකි. එය ද මහේල ගේ තීක්ෂණ බුද්ධියේ අනගි ඵල විදිමින් සන්ග ගෙ පිත්තේ හතර මායිම් කියා දෙමින් ළඟා කර දුන් ජයග්‍රහණයකි. එය නිකන් කලින් ගහනව කියල ගැහුවාක් වැනිය. තරඟාවලියට පෙරම ඔවුන් දෙපළ තම සමු ගැනීම ප්‍රකාශ කර සිටීමත් සමඟ අපිට ද තරඟාවලිය ගැන අමුතුම ලල් එකක් ඇති වුනු බව නොරහසකි. මෙය කෙසේ හෝ ජය ගත යුතු බවට හැඟීම.... අප මෙන්ම එය කණ්ඩායමේ ම ද එකම අරමුණ වූවාට සැක නැත. අන්තිමට එය ඉටු විය. ඔවුන් දෙපළ ගේ සිනහව දැක මට ඇඬුණි. වරෙක සංග-මහේල මේ දැන්... මේ දැන් සිප ගනීවී යැයි නොසිතුණේ ද නැත. ලොල් ය. Bromance was all over it ය. මට ද එකෙක්ව සහෝදර කමට අරන් හදා ගන්නට සිත් විය. අටුවා ටීකා ඇවැසි නොවේ. සංග-මහේල එම රාත්‍රියේ අපිට "සංතෘප්ත" ජයග්‍රහණයක් උරුම කර දුන්නෝ ය.

මෙය හුදෙක් එක ක්‍රීඩකයෙක් ගේ දක්ෂතාව මත දිනූවක් නොවේ. Leading Wicket Takers හෝ Leading Runs Scorers මුල් පහ අතර අපේ එකෙක්වත් නැත. එය කණ්ඩායම ම perform කර ලබා ගත් "සංතෘප්ත" ජයග්‍රහණයකි. අප කණ්ඩායම උක්ත තරඟාවලියේ දී මා දකින්නේ පොකුරු බෝම්බයක් ලෙස ය. පොකුරු බෝම්බ යොදා ගනුයේ අඩු ම ගානෙ මොකක් හරි පත්තු වේවා!! නියා යෙ නි. මොන බෝම්බය පත්තු වේදැ යි දන්නේ බෝම්බයම පමණි. අප කණ්ඩායම ද එසේ ය. හොඳ ආරම්භයක් ඇවැසි ව තිබුණි. සනත් ගේ භූතයා ආරූඪ කර ගත් පොඩි සනා ඩිලී එක්ක සෙට් උණි. ආරම්භය කෙළවා ගත් විටක කන්ද උඩ රටින් ආ කුමාරයා, සංග, අතේ ඇට නැති වංගු කබරයා, මහේල සමග ඩබල් දාන් සෙට් උණි. උඩ සෙට් එකටම ඇඩ්‍රස් නැති කල මැද පෙළ "I'm sexy and I know it" ඇන්ජි බලා ගත්තේ ය. අන්තිම හොඳට ඉවර කරන්න ඇන්ජිට සප් එකට තිසර+සේනා+සීකු සිටියේ ය.... අප්පට සිරි තිරී.... ඇඬෙනො හොඳේ.... bowling dept එක ගැන නං කවර කතා ද? මෙන්ඩට වැදුණු බව සැබෑ ය. මාලිංග කොහොමත් එල ය. කුලේ ගේ හුරතල් හිනාව ට ය මං වැඩියෙන්ම ආස. දරු කමට අරන් හදා ගන්නට සිත් වූයේ වරක් දෙවරක් නොවේ. "තුරුම්පු අන්තිමට තියා ගනිං කොලුවො" කියා බුලත් හපය හක්කෙන් හක්කට මාරු කර කර අපේ ආතා මට ඕමි බලන්ට කියා දුන් සැටි සිහි කැඳවූයේ අපේ කොට තුරුම්පුව, හේරා ය. සේනා කවදත් වගේ සද්ද නැතුව වැඩ ය. ඒකා එහෙම සද්ද නැතුව වැඩ පෙන්නන්නේ කුලේ ගෙන් කුප්පි දා ගෙනදැයි සැක සහිත ය. අන්තිමට අපේ fielding වල හොඳ කම.... එතනින් අනිවා හැමදාම අපි ලකුණු 20ක් 30ක් නතර කළෙමු. නාකියා උණාට ඩිලී එහි පෙරමුණේ ය. ඔක්කොම සිරා ය... චන්දි සිරාරාරාරාරා........ය. "මට පෙර රට" සංකල්පය අගේට තියන් ඉන්න නාඹර කොලු ගැටයා ය. ඒකා අර කහපාට වෙස්ට් එක ඇඳන් හෙල්මටය සංගට දෙන්න පිටියට දුවන් ආ සැටි දුටු මාගේ හොටු පිහි දැම්මේ ඉරිදා පත්තරයකිනි. ඇඬුම් ආ මොහොතකි. ආඩම්බරයි පුතේ!!!! මේ හැම ජයග්‍රහණයකම unsung heroes කියල සෙට් එකකුත් සිටී..... ඒ හැම එකාමද ඇඬෙන්න perform කළ තරගාවලියකි මෙය....සනා, මාවන්, වාස්, රුවන් කල්පගේ, අපේ කෝචා, physio ල.... ඔක්කෝම සිරා ය. ඔක්කෝම perform කළ හැටි අපූරු ය. එනිසයි මෙය "සංතෘප්ත" ජයග්‍රහණයක් වන්නේ....



සිතූ පරිදි, සියල්ල අපිට ඇවැසි පරිදි ම අවසන් විය. ඉදිරිය දැන් නිරවුල් ය. නිකැළැල් ය. මාර්ගය පැහැදිලි ය. බැදිවල යෑමට උවමනා නැත. මෙය එක අතකින් සිහිනයක් දෝ හෝයි සිතමින් වරක් දෙවරක් කොනිත්තා ගත් වාරයන් ද එමට ය. මෙතරම් සර්වසම්පූර්ණ ලෙස යමක් අවසන් වූවා දුටුවාමය. පට්ට perfect ය. සුරංගනා කතාවක් වගේ මැ යි. අවුලක් නැත. විස්සයි විස්සයි සර්වසම්පූර්ණව ලාංකේය ජානතාවට උරුම කර දුන් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට උණුසුම් සුභාශිංසන එක් කෙරුමට MoraSpirit ද එකතු වන වගයි. එයට වටිනාකමක් එක් කර දීම පිණිසය අපගේ බ්ලොග්කරණ ආගමනයේ පූර්විකාවට ම මෙම සුභාශිංසන එක් කළේ. ගතානුගතිකයෙන් බැහැරව යමක් එක් කළ මනා ය. MoraSpirit අප එදා මෙදා තුර බෙදුම්වලින් ගහණ දේශීය සරසවි සම්ප්‍රදායේ සිට මුල් බැස ලීමට වලි කෑ එක් මතය කි.

"Strength Lies in Differences Not in Similarities"

එය ලොවෙත් නැති විදිහට සනාථ කල ජීවමාන ප්‍රතිමාවක් ලෙස, MoraSpirit, උක්ත විස්සයි විස්ස කුසලානය කැටුව එන ජාතික ක්‍රිකට් කණ්ඩායම දකියි. සිංහල, දෙමළ, මුස්ලිම්, බර්ගර්, උඩරට, පහතරට, මැද රට, සුදු, කලු, සන්ධානෙ, යූඇන්පී, ඇති නැති හැම ශ්‍රී ලාංකිකයා ම එක ධජයක් උසුලා ගෙන, එක ජාතික ගීයට නැගිට සීරුවෙන් සිට, එකට දිනා ගත් කුසලානයකි මේ.

විස්මිතයි. ක්‍රීඩාව රටක් එකතු කළ හැටි.....
විස්මිතයි. ක්‍රීඩාවකට කළ හැකි දේ.....

මෙම ක්‍රීඩා සංස්කෘතිය, සරසවිය තුළට ගෙන ඒමයි MoraSpirit අපේ වෑයම.....

තුති!!!!

- නලීන්ද්‍ර කුලරත්න-


No comments:

Post a Comment

MoraSpirit Designed by moraspirit.com Copyright © 2014

MoraSpirit. Theme images by Bim. Powered by Blogger.
Published By Chethiya Prasanga